Skip to content

පටුනට යන්න

හෝකාන් ඩාවිඩ්සන් | ජීවිත කතාව

ශුභාරංචිය පතුරුවන්න අපි උදව් කළා

ශුභාරංචිය පතුරුවන්න අපි උදව් කළා

 මං ඉපදිලා උස් මහත් වුණේ ස්වීඩනයේ. මං යෞවන වයසේ ඉද්දී මං වටේ හිටපු හුඟක් අය දෙවි කෙනෙක්ව විශ්වාස කළේ නැහැ. ඉතින් ඒ අදහස් මටත් බලපාලා තිබුණා. මගේ අම්මායි, තාත්තායි, නංගියි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලේ පාඩම් කරන්න පටන්ගත්තාම මට ඒ ගැන එච්චර උනන්දුවක් තිබුණේ නැත්තේ ඒ නිසයි.

 තාත්තා නිතරම වගේ කිව්වා මටත් බයිබලේ පාඩම් කරන්න කියලා. ඉතින් දවසක් මං එයාලත් එක්ක බයිබල් පාඩමට ඉඳගත්තා. විද්‍යාවට සම්බන්ධ තොරතුරු ගැන බයිබලේ තියෙන දේවල් කොච්චර ඇත්තද කියලා දැක්කාම මට පුදුම හිතුණා. කාලයක් යද්දී මට කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන් වුණා, බයිබලේ කියන්නේ දෙවියන්ගෙම අදහස් තියෙන පොතක් කියලා. ඒ වගේම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලේ තියෙන තොරතුරු හරියටම උගන්නනවා කියලත් ඒකේ තියෙන විදිහටම එයාලා ජීවත් වෙනවා කියලත් මට කිසිම සැකයක් තිබුණේ නැහැ. ඉතින් 1970දී මං බව්තීස්ම වුණා. මමයි, තාත්තායි බව්තීස්ම වුණේ එකම දවසේ. ඊට අවුරුදු කීපයකට පස්සේ අම්මායි, නංගිලා දෙන්නායි බව්තීස්ම වුණා.

 මගේ යාළුවෝ වැඩිදෙනෙක් ආස කළේ පාටි දාලා ජොලියේ ඉන්න. කිසිම බරක් නැතුව සැහැල්ලුවෙන් ගත කරපු ඒ ජීවිතේට මගේ හිතෙත් ආසාවක් තිබුණේ නැහැ කියන්න බැහැ. මොකද ඒ වෙනකොට මගේ වයස 17යි. ඒත් මාත් එක්ක බයිබලේ පාඩම් කරපු අය පූර්ණකාලීන සේවය කරලා කොච්චර සතුටක් ලබනවාද කියලා මං දැක්කා. මටත් ඕන වුණා එයාලා වගේ වෙන්න. ඉතින් මට වයස 21ක් වෙද්දී මාත් පූර්ණකාලීන සේවයට අඩිය තිබ්බා.

මමයි, තාත්තායි (වම් පැත්තේ) බව්තීස්ම වුණේ එකම දවසේ

 පුරෝගාමී සේවය කරද්දී කිසිම දෙයක් නිසා නැති වෙලා යන්නේ නැති සතුටක් මං අද්දැක්කා. මීට කලින් මං මේ සේවය පටන්ගත්තේ නැති එක ගැන මං දුක් වුණා. ඒ කාලේ මම වැඩියෙන්ම ආස කළේ ගෝටෙබොර්ග් වරායේ දේශනා කරන්න. එහෙට එක එක රටවලින් බඩු ගෙනියන නැව් ආවා. ඒ නැව්වල වැඩ කරපු විවිධ ජාතිවල අයට දේශනා කරලා මං ලැබුවේ ලොකු සතුටක්.

 පහුගිය අවුරුදු 50ක කාලය පුරා විවිධ භාෂා කතා කරපු අයට ශුභාරංචිය ගැන දැනුම් දෙන්න විශේෂ විදිහකින් උදව් කරන්න මට පුළුවන් වුණා. ඒ කොහොමද කියලා මං ඔයාලට කියන්නම්.

මෙප්ස් පාවිච්චි කරලා කරපු වැඩ

 පුරෝගාමී සේවය කරන ගමන් මං මුද්‍රණාක්ෂර වේදියෙක් විදිහටත් පොඩි රැකියාවක් කළා. ඒකේ මම කළේ මුද්‍රණය කරන්න තිබුණු අකුරු සකස් කරන එක. ඒ වෙද්දී පොත් පත් මුද්‍රණය කරන විදිහේ ලොකු වෙනසක් වෙමිනුයි තිබුණේ. ඒ කාලේ ඊයම්වලින් හදපු අකුරු එකින් එක තියලා තමයි මුද්‍රණයට ඕන කරපු පිටු සකස් කළේ. හැබැයි අලුත්ම තාක්ෂණයට අනුව අකුරු සහ පින්තූර පිටුවකට ගත්තේ ඡායාරූප පාවිච්චි කරලා. ඉතින් මමත් අලුත්ම පරිගණක තාක්ෂණය පාවිච්චි කරලා මුද්‍රණයට ඕන කරන තැටි හදන විදිහ ඉගෙනගත්තා.

අපි විවාහ වුණ දවසේ

 1980දී ස්ථාවර පුරෝගාමියෙක් වුණු හෙලේන් එක්ක මං විවාහ වුණා. එයාත් මං වගේම ලෝකේ විවිධ රටවල්වල ඉන්න අයව හම්බ වෙලා කතා කරන්න, එයාලාගේ සංස්කෘතිය ගැන ඉගෙනගන්න ආස කෙනෙක්. අපි දෙන්නාගෙම ඉලක්කය වුණේ ගිලියද් පාසැලට ගිහිල්ලා මිෂනාරිවරු විදිහට සේවය කරන එක.

 ඒත් මුද්‍රණාක්ෂර වේදියෙක් විදිහට වැඩ කරලා මට අද්දැකීම් තිබුණ නිසා ස්වීඩන් බෙතෙල් එකේ සේවය කරන්න එන්න කියලා අපිට ආරාධනාවක් ලැබුණා. ඒ කාලේ වෙද්දී සංවිධානයට ඕන වුණා අලුත්ම තාක්ෂණය පාවිච්චි කරලා අපි පොත් පත් මුද්‍රණය කරන විදිහ තව දියුණු කරන්න. ඒ නිසා ඒ පැත්ත ගැන පුහුණුවක් දෙන්න 1983දී අපිව නිව් යෝර්ක්වල තිබුණු වෝල්කිල් බෙතෙල් එකට යැව්වා. අපේ සහෝදරයන්ම නිර්මාණය කරපු අලුත්ම තාක්ෂණික වැඩසටහනක් ගැන පුහුණුවක් අපිට එහෙදී ලැබුණා. ඒකට කිව්වේ බහු භාෂා විද්‍යුත් අකුරු ඇමුණුම් ක්‍රමය කියලා. (MEPS) a

හොංකොංවල, මෙක්සිකෝවේ, නයිජීරියාවේ, සහ ස්පාඤ්ඤයේ මෙප්ස්වලට සම්බන්ධ වැඩ කරමින්

 මෙප්ස් කියන්නේ විවිධ භාෂාවල අකුරු ටයිප් කරන්න, ඒවාට අදාළ පින්තූර එකතු කරලා පිටුවක් හදන්න උදව් වෙන පරිගණක තාක්ෂණයක්. අපිට කරන්න තිබුණේ මෙප්ස් පාවිච්චි කරලා එක එක භාෂාවල හෝඩිවල තිබුණු අකුරු ටයිප් කරන්න පුළුවන් වෙන විදිහට හදන එක. අපි එහෙම කළේ වැඩි භාෂා ගාණකට අපේ ප්‍රකාශන මුද්‍රණය කරන්න අවස්ථාව දෙන්න. මේ වෙනකොට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන භාෂා 1,000කට වැඩියෙන් ප්‍රකාශයට පත් කරනවා.

 ඔහොම යද්දී හෙලේන්ටයි, මටයි තවත් පැවරුමක් ලැබුණා. ඒ, ආසියාවට ගිහින් එහේ කතා කරන භාෂා මෙප්ස්වලට ඇතුල් කරන්න දේවල් සැලසුම් කරන එක. ඒකෙන් තවත් භාෂා කතා කරන හුඟක් අයට ශුභාරංචිය දැනගන්න අවස්ථාව ලැබුණා. ඒකට උදව් කරන්න ලැබුණ එක අපි සැලකුවේ අපිට ලැබුණු ලොකු ආශීර්වාදයක් විදිහට.

වෙනස්ම සංස්කෘතියක්

 1986දී හෙලේනුයි, මමයි ඉන්දියාවට ආවා. එහේ තිබුණේ සම්පූර්ණයෙන්ම වෙනස් සංස්කෘතියක්. අපි මුලින්ම ආවේ දැන් මුම්බායි විදිහට හඳුන්වන බොම්බායට. එහේ ජීවිතේට හැඩගැහෙන එක ලේසි වුණේ නැහැ. මොකද ස්වීඩනයෙයි, ඉන්දියාවෙයි සංස්කෘතීන් අහසට පොළොව වගේ. එහෙට ගිය මුල් සතියේ අපිට හිතුනෙම ආයෙත් ගෙදර ගියොත් හොඳයි කියලා.

 ඔය විදිහට සතියක් විතර ගියාට පස්සේ අපි දෙන්නාටම මෙහෙම හිතුණා. ‘අපි හැමදාමත් හීන මැව්වේ මිෂනාරි සේවේ කරන්න. ඉතින් දැන් අපිට වෙන රටක පැවරුමක් ලැබිලා තියෙනවා. ඉතින් කොහොමද අපි ඒක අත්හැරලා යන්නේ. අපි කොහොමහරි මේ බාධා ජය අරන් මේ පැවරුම කරන්න ඕනේ.’

 ඉතින් පැවරුම දාලා පැනලා යන්නේ නැතුව පුළුවන් තරම් මේ සංස්කෘතිය ගැන ඉගෙනගෙන ඒකට හැඩ ගැහෙනවා කියලා අපි තීරණයක් ගත්තා. එහෙම කරපු නිසා අපි ඉක්මනටම එහේ ජීවිතේට හුරු වුණා. එහේ ගත කරපු කාලේ අපි දෙන්නා හිටියේ ගොඩක් සතුටින්. අපි ඉන්දියාවට කොච්චර ආස වුණාද කියනවා නම් එහේ තිබුණු ගුජරාටි සහ පන්ජාබි කියන භාෂා දෙකම අපි ඉගෙනගත්තා.

ඉන්දියාවෙන් මියන්මාරයට

මියන්මාරයේ නමස්කාර මධ්‍යස්ථානයක් ළඟ ඒ රටේ ඇඳුමක් ඇඳගෙන

 1988දී අපිව මියන්මාරයට යැව්වා. මියන්මාරය කියන්නේ චීනය, ඉන්දියාව සහ තායිලන්තය කියන රටවල් තුනට මැදි වුණු රටක්. එහේ හුඟක් දේශපාලනික ගැටුම් තිබුණා. රටේ වැඩි හරියකම තිබුණේ හමුදා නීතිය. එයාලාගේ භාෂාවේ තිබුණු හෝඩියේ අකුරු ඒ වෙද්දී මෙප්ස්වලට ඇතුළත් කරලා තිබුණේ නැහැ. ඒ වෙද්දී ඒක කරන්න පුළුවන් වෙන සොෆ්ට්වෙයා එකක් තිබුණෙත් නැහැ. ඉතින් අපිට තිබුණ මුල්ම වැඩේ තමයි ඒ හෝඩියේ අකුරු අඳින එක. ඊටපස්සේ ඒවා මෙප්ස්වලට ඇතුල් කරන්න වෝල්කිල්වලට අරන් යන්න වුණා.

 අපි ඒ ගමන යන්න එයාපෝට් එකට ගියා. අපි සකස් කරපු අකුරු ටික ඒ වෙලාවේ තිබුණේ හෙලේන්ගේ අතේ තිබුණු බෑග් එකේ. අපි කළේ හරිම අවදානම් වැඩක්. මොකද ඒ රටේ තිබුණු දේශපාලනික තත්වයත් එක්ක මියන්මාර භාෂාවෙන් අපේ ප්‍රකාශන අපි ළඟ තිබිලා අහු වුණොත් අපිව අත්අඩංගුවට ගන්නත් ඉඩ තිබුණා. ඒත් එහෙදී හෙලේන්ව පරීක්ෂා කරද්දී එයා අත් දෙක උස්සන් හිටියේ බෑග් එකත් අතේ තියාගෙන. ඒ නිසා කවුරුත් ඒ බෑග් එකට එච්චර අවධානයක් දුන්නේ නැහැ.

අපේ ප්‍රකාශනවල පිටු තවත් ලස්සනට හදන්න මෙප්ස් උදව් වෙලා තියෙනවා

 මියන්මාරයේ පරිවර්තකයන්ට ටයිප් කරන්න ඕනෙ කරන අලුත්ම අකුරු විතරක් නෙමෙයි ලැප්ටොප් පරිගණක, මුද්‍රණ යන්ත්‍ර වගේ දේවලුත් ලැබුණා. ඒ විතරක් නෙවෙයි මෙප්ස් පාවිච්චි කරන විදිහ ගැන හොඳ පුහුණුවකුත් එයාලට ලැබුණා. එහේ හිටපු පරිවර්තකයන්ගෙන් වැඩිදෙනෙක් ඊට කලින් පරිගණකයක් දැකලාවත් තිබුණේ නැහැ. ඒත් ඒ අලුත් ක්‍රම ගැන ඉගෙනගන්න එයාලට තිබුණේ ලොකු ආසාවක්. ඒ නිසා වැඩි කල් යන්න කලින් පරණ ක්‍රම පැත්තකට දාලා අලුත් විදිහට මුද්‍රණ වැඩ කරන්න එයාලට පුළුවන් වුණා. ඒ විතරක් නෙමෙයි අපේ ප්‍රකාශන තවත් හොඳින්, හිත් ඇදගන්න විදිහට සකස් කරන්නත් ඒකෙන් පුළුවන් වුණා.

මියන්මාරයෙන් නේපාලයට

 හෙලේන්ටයි, මටයි ඊළඟට පැවරුම ලැබුණේ නේපාලයට. අපි එහෙට ගියේ 1991දියි. නේපාලය කියන්නේ හිමාල කඳුවැටියට දකුණු පැත්තෙන් තිබුණු රටක්. එහෙට යද්දී මුළු රටටම තිබුණේ එක සභාවක් විතරයි. නේපාල භාෂාවෙන් ප්‍රකාශන තිබුණෙත් හරිම ටිකයි.

 වැඩි කල් යන්න කලින් තවත් හුඟක් ප්‍රකාශන ඒ භාෂාවට පරිවර්තනය කරලා බෙදාහරින්න පටන්ගත්තා. අද වෙනකොට නේපාලයේ සාක්ෂිකරුවන් 3,000ක් විතර ඉන්නවා. එහේ සභා 40කට වඩා වැඩියෙන් තියෙනවා. 2022දී යේසුස්ගේ මරණය සිහි කිරීමට 7,500කට වඩා වැඩිදෙනෙක් සහභාගි වුණා!

ලාහු භාෂාවෙන් සඟරාවක්

 1990 දශකයේ මැද භාගයේදී වගේ තායිලන්තයේ චියෑං මායි නගරයේ හිටපු මිෂනාරිවරු කඳුකර පළාත්වල ජීවත් වුණ ලාහු භාෂාව කතා කරපු ගෝත්‍රිකයන්ට දේශනා කරන්න පටන්ගත්තා. ලාහු කියන්නේ චීනය, ලාඕසය, මියන්මාරය, තායිලන්තය සහ වියට්නාමය කියන රටවල දේශ සීමා අසල හිටපු මිනිස්සු කතා කරපු භාෂාවකට. ඒත් ඒ භාෂාවෙන් අපේ ප්‍රකාශන නම් මුකුත්ම තිබුණේ නැහැ.

 එහේ හිටපු මිෂනාරිවරු එක්ක බයිබලේ පාඩම් කරපු එක තරුණයෙක් තායි භාෂාවෙන් තිබුණ “බලව! මම සියල්ලම අලුත් කරමි” කියන සඟරාව ලාහු භාෂාවට පරිවර්තනය කළා. ඊටපස්සේ ඒ තරුණයායි, එයාගේ ගමේ හිටපු ලාහු භාෂාව කතා කරපු අයයි සල්ලි එකතු කරලා ඒ සඟරාවයි, එකතු කරපු සල්ලියි ශාඛා කාර්යාලයට යැව්වා. ඒ එක්කම එයාලා ලියුමකුත් යැව්වා. ඒ ලියුමෙන් එයාලා සහෝදරයන්ට කිව්වා, ඒ සඟරාවෙන් එයාලට සත්‍යය දැනගන්න ලැබුණා වගේ ලාහු භාෂාව කතා කරන හැම කෙනෙක්ටම සත්‍යය දැනගන්න ලැබෙනවා දකින්න එයාලා ආසයි කියලා.

 අවුරුදු කීපයකට පස්සේ හෙලේන්ටයි, මටයි අවස්ථාවක් ලැබුණා මෙප්ස් පාවිච්චි කරන විදිහ ගැන ලාහු පරිවර්තකයන්ට පුහුණුවක් දෙන්න. ඒ අය අතරේ හිටියා චියැං මායි පරිවර්තන කාර්යාලයේ සේවය කරපු අලුතින් බව්තීස්ම වුණ සහෝදරයෙක්. “බලව” කියන සඟරාව ලාහු භාෂාවට මුල්ම වතාවට පරිවර්තනය කළේ ඒ තරුණයායි කියලා දැනගත්තාම අපිට පුදුම හිතුණා.

 1995දී මමයි, හෙලේනුයි ආයෙත් ඉන්දියාවට ආවා. අපි එහෙදී ශාඛා කාර්යාලයේ හිටපු පරිවර්තකයන්ට මෙප්ස් පාවිච්චි කරලා එයාලාගේ වැඩේ තවත් හොඳට කරන්න ඕන කරන උදව් දුන්නා. අද වෙනකොට ඉන්දියාවේ තියෙන හුඟක් භාෂාවලින් අපේ ප්‍රකාශන තියෙනවා. ඒ නිසා හුඟක් අයට බයිබලය ඉගෙනගෙන බව්තීස්මය දක්වා දියුණු වෙන්න ඕන කරන තොරතුරු දැන් ඇති තරම් තියෙනවා.

ආශීර්වාදවලින් අඩුවක් නැති ජීවිතයක්

 හෙලේනුයි, මමයි 1999 ඉඳන් සේවය කරන්නේ බ්‍රිතාන්‍ය ශාඛා කාර්යාලයේ. අපි එහේ ඉඳන් ලෝක මූලස්ථානයේ මෙප්ස් එක්ක වැඩ කරන කණ්ඩායමට උදව් කරනවා. අපි ලන්ඩන්වල දේශනා කරද්දී වැඩි කාලයක් යොදවන්නේ ගුජරාටි සහ පන්ජාබි භාෂාව කතා කරන අයට දේශනා කරන්නයි. ඒකෙන් අපි ලබන්නේ ලොකු සතුටක්. jw.org එකට අලුතෙන් භාෂාවක් එකතු කළාම අපේ පැත්තේ ඒ භාෂාව කතා කරන අයට දේශනා කරන්න අපි ලොකු උත්සාහයක් ගන්නවා.

 මගේ යෞවන කාලේ යාළුවොත් එක්ක එකතු වෙලා පාටි දාලා ජොලි කරනවා වෙනුවට දෙවියන්ට මුල් තැන දීලා සේවයේ ඉලක්ක තියලා වැඩ කරපු එක කොච්චර වටිනවාද කියලා දැන් මට හිතෙනවා. අපේ ජීවිතේ ආපස්ස හැරිලා බලද්දී පූර්ණකාලීන සේවය කරන්න අපි ගත්ත තීරණය ගැන හෙලේන්ටයි, මටයි කිසිම දුකක් නැහැ. අපි රටවල් 30කට වඩා වැඩි ගාණක සේවය කරලා තියෙනවා. ඒ හැම තැනකම ඉන්න විවිධ ජාතීන්ට, ගෝත්‍රවලට සහ විවිධ භාෂා කතා කරන අයට ශුභාරංචිය පැතිරිලා ගිය විදිහ අපි අපේ ඇස් දෙකෙන්ම දැක්කා.—එළිදරව් 14:6.

a බහු භාෂා විද්‍යුත් ප්‍රකාශන නිකුත් කිරීමේ ක්‍රමය. ඩිජිටල් මාධ්‍යයෙන් ප්‍රකාශන නිකුත් කරන්නත් මෙප්ස් පාවිච්චි කරනවා.