යහපත් ක්‍රිස්තියානීන් වෙමු
අමුත්තන්ව සාදරෙන් පිළිගන්න
මාර්තු 23වෙනිදා පවත්වන සිහි කිරීමට අමුත්තන් මිලියන 12ක් හෝ ඊට වැඩියෙන් එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. යෙහෝවා දෙවිගේ තෑග්ග වන යේසුස්ගේ ජීවිත පූජාව ගැනත් ඒ තෑග්ග නිසා මුළු මිනිස් වර්ගයාටම අනාගතයේදී ලැබෙන ආශීර්වාද ගැනත් කථිකයා විස්තර කරද්දී ඒක ඔවුන්ට මොන තරම් සාක්ෂියක් වෙයිද! (යෙසා 11:6-9; 35:5, 6; 65:21-23; යොහ 3:16) මේ විශේෂ අවස්ථාවේදී කථිකයාට විතරක් නෙමෙයි අපිටත් පුළුවන් අමුත්තන්ව පිළිගන්න විදිහෙන් සාක්ෂියක් දෙන්න. (රෝම 15:7) ඒකට යෝජනා කීපයක් මෙන්න.
-
වාඩි වෙලා වැඩසටහන පටන්ගන්න කල් බලාගෙන ඉන්නේ නැතුව අමුත්තන්ව සහ සභාවෙන් ඈත් වෙලා හිටිය අයව සුහදව පිළිගන්න
-
ඔබ ආරාධනා කරපු අයට විශේෂ අවධානයක් දුන්නත් ආරාධනා පත්‍ර ලැබිලා එන අය ගැනත් අවධානයෙන් ඉන්න. අලුත් අයට ඔබ ළඟින් ඉඳගන්න කියන්න. ඔබේ බයිබලයයි ගීතිකා පොතයි පෙන්වන්න
-
දේශනයෙන් පස්සේ ඒ අය අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ඉදිරිපත් වෙන්න. තවත් සභාවක් ඒ ස්ථානය පාවිච්චි කරන නිසා ඔබට ඉක්මනින් යන්න වෙනවා නම් ඒ අයව දවස් කීපයක් ඇතුළත හමු වෙන්න සැලසුම් යොදන්න. ඒ අය ගැන තොරතුරු දන්නේ නැත්නම් මෙහෙම අහන්න පුළුවන්. “රැස්වීම ගැන ඔයා මොකද හිතන්නේ? ඔයාව ආයෙත් හම්බ වෙන්න ක්‍රමයක් තියෙනවාද?”